Hand Phone Number | ජංගම දුරකථන අංකය

කතන්දරකාරයාගෙ හෑන්ඩ් ෆෝන් කතාව කියෙවුවේ අදයි. ඉතින් මටත් හිතුනා අපේ යාලුවෙක් දුරකථන ඇමතුමක් ගන්න ගිහින් වෙච්ච දෙයක් ගැන පොඩි කතාවක් කියන්න. හැබැයි මෙයානම් නව තාක්ෂණික දේවල් නුහුරු කෙනෙක් නෙවෙයි. ඉඳලා හිටල පිස්සු / මෝඩ වැඩ කරන කෙනෙක් කියලා තමයි කියන්න වෙන්නේ.

ඇත්ත නම කිවුවොත් ගුටි කන්න වෙන නිසා මම මෙයාට ‘අරවින්ද’ කියන්නම්. “අපේ පුතාට ඇඟ තිබුනට මොලේ නෑ” කියලා අරවින්දගේ අම්මත් කිවුව කියලයි මුචානම් කියන්නේ. (මඩ) මුචා කියන්නේ අපි දෙන්නගෙම යාලුවෙක් කියලා හිතා ගන්නකො දැනට…

ඉතින් මේකයි සිද්ධිය. දවසක් අපි දෙන්නා කතා කර කර ඉද්දි අරවින්දගේ ජංගම දුරකථනයට මුචාගෙන් කෝල් එකක් ආවා. කාගෙද මන්දා දුරකථන අංකයක් තමයි මුචා අහලා තියෙන්නේ. කෝල් එක ඉවර කරලා ඒ ඉල්ලපු දුරකථන අංකයත් හොයා ගත්තු අරවින්ද දැන් බර කල්පනාවක.

ඊට පස්සෙ අපි අතරෙ සංවාදය මේ විදියටයි වුනේ.

මම: මොකද මචං ඉල්ලපු number එක මුචාට දෙන්නෙ නැතුව කල්පනා කරන්නේ?

අරවින්ද: මම මුචාට land line එකෙන් phone කරන්න තමයි ලෑස්ති වුනේ. (ඔය දවස්වල ජංගම දුරකථන ගාස්තු විනාඩියට රු 19 ක් විතර වුනා.) ඒත් මුචාගෙ numbers 2ක් තියෙන නිසා මොන එකට ගන්නවද කියලයි මේ බැලුවේ…

මම: ඉතින් ඌ දැන් කතා කලානෙ. ඒ number එකටම ගනිං.

අරවින්ද: ඒ number එක පෙනුන් නෑනෙ. මුචා කියල තමයි phone එකේ පෙනුණේ.

😀

මෙන්න බෝනස් එකට ‍තවත් කතාවක්.

අරවින්ද වෙන වැඩක් කරන අතරෙම නොයෙක් දේවල් ගණන් කරන පොඩි පුරුද්දක් තිබුණා. ඒ කියන්නෙ ගමනක් යන අතරෙ පහුකළ වාහන ගණන, වාහනේ රතු එළියට නතර කලාම ඒ මංසන්ධියේ හංගලා තිබුණු ආරක්ෂක කැමරා ගණන වගේ දේවල්. මේ නිසාම අපි සමහර වෙලාවට මෙයාට ඔටෝ සම් කියලත් කිවුවා.

දවසක් කාර්යාලයේ වැඩ එහෙමත් තිබුන වෙලාවක මට පොඩි විහිලු කතාවක් මතක් වුනා. ඒ කාලෙත් මට පොඩි කතාවක් මතක් වුනොත් ඕක කාට හරි කියන්නම ඕන. හික්, හික්… ඉතින් මම දෙපාරක් විතර අරවින්දගෙන් ඇහුවා පොඩි කතාවක් තියෙනවා, කියන්නද කියලා. මූ එපාම කිවුවා. පස්සේ මම වාක්‍ය 3න් කතාව ඉවර කරන්නම් කියලා පොරොන්දු වෙලා අමාරුවෙන් අවසර ගත්තා.

ඉතින් මම අමාරුවෙන් වචන ගලපලා පුලුවන් තරම් කෙටියෙන් කතාව කිවුවා. විහිලු කතාව ඉවර වෙලත් මූ හිනා වුණේනම් නෑ. මම ඇහුවා ඇයි මචං කියලා.

අරවින්ද කිවුවා “උඹ වාක්‍ය 5ක් ගත්තා” කියලා.

Advertisements
Posted in Ent | Tagged , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 11

uTorrent Tips and Tricks | uTorrent ඉඟි සහ විජ්ජා

uTorrent Tips

සෑහෙන කාලෙකින් ලිපියක් දාන්න බැරි වුනා. ඒ නිසා ඔන්න කලින් පොරොන්දු වුන විදියටම, වැඩි දෙනෙක් නොදන්න විස්තරයක්ම ලියන්න හිතුවා. මේ විස්තර අමාරුවක් නැතුව ජංජාලෙන් හොයා ගන්න පුලුවන් වුනත්, නොදැනුවත්කම නිසා හුඟ දෙනෙක් භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා සිංහල භාෂාවෙනුත් කියලා බලන්න හිතුනා. මගේ බිට්ටොරන්ට් ගැන ලිපියෙදිත් කියපු මෘදුකාංගයක් වන uTorrent ‍ගැනයි අද පොඩි කතාව.

බිට්ටොරන්ට් සේවාලාභී මෘදුකාංග ගොඩක් තිබුනත් මමනම් දැන් පාවිච්චි කරන්නේ uTorrent විතරයි. කලින් දෙක තුනක්ම අත් හදා බැලුව නිසා තේරුනා uTorrent වල තියෙන ‍වාසි කීපයක්:

  • බාගැනීමට පහසු ඉතා කුඩා ගොණුවක් ලෙස පැවතීම (small file size)
  • ඉහල ක්‍රියාකාරිත්වය සහ ස්ථායී බව (well performance and stability)
  • අවශ්‍ය සියලු විශේෂාංග ඇතුලත් වීම (rich feature set)
  • අඩුම පද්ධති සම්පත් යටතේ ක්‍රියා කිරීම (requires less system resources)

uTorrent ගැන වැඩි විස්තරයක් ඕන කෙනෙකුට මෙතනින් කියවන්න පුළුවන්.

කලින් කිවුව වාසි තියෙන නිසා බොහෝ දෙනෙක් uTorrent භාවිතා කලත්, එයින් වැඩි දෙනෙක් නොදන්න ප්‍රයෝජනවත් විශේෂාංග 2ක් තමයි portable installation සහ web interface. මේවා ඉතින් විජ්ජාවල්නම් නෙවෙයි. uTorrent ඉඟි සහ විජ්ජා කියලා කිවුවේ ඒක ලස්සන නිසා. 😀

uTorrent Portable Installation | uTorrent ජංගම ස්ථාපනය

බිට්ටොරන්ට් ක්‍රමයට බාගත කරන්නේ සාමාන්‍යයෙන් ‍ප්‍රමාණයෙන් ලොකු දේවල්නේ. ඉතින් බොහෝ විට ඕවා බෑවිලා ඉවර වෙන්න දවස් ගාණක්ම යනවා. අපි වැඩ කර කර හිටපු පරිගණකය වසා දමලා වෙන පරිගණකයක වැඩ කරන්න යනකොට මේ බාගත කිරීමුත් තාවකාලිකව නවතිනවා. මේ විදියට බාගෙට බෑවුන ගොණු(ව)ත් අපිත් එක්කම ඊළඟ පරිගණකට අරන් ගිහින් නැවතුන තැන ඉඳලා ඉතුරු ටික බාන්න තියෙනවනම් හොඳයි නේද?

uTorrent ජංගම ස්ථාපනයක් මගින් මේක කරන්න පුලුවන්. අනික uTorrent දාන්න අවශ්‍ය ඉහල බලතල (admin rights) අපි වැඩ කරන හැම පරිගණකයේදිම නෑනේ. එතකොටත් පිහිටට එන්නේ ජංගම ස්ථාපනයක් තමයි. ඒ වගේම තමයි මේ ක්‍රමේදි ගෙදර විදුලි බිලයි, bandwidth එකයි ඉතුරු වෙනවා. 😀

uTorrent ස්ථාපන ගොණුව නිකංම විවෘත කළාටනම් ජංගම ස්ථාපනයක් ලැබෙන්නේ නෑ. Portable Installation එකක් කරන්නේ මෙහෙමයි:

  • ඔබට අවශ්‍ය ඉවත් කල හැකි මාධ්‍යයේ (removable storage එකේ) sub folder එකකට uTorrent ස්ථාපන ගොණුවේ නවතම සංස්කරණය දා ගන්න.
  • Notepad විවෘත කරලා ‘settings.dat’ නමින් හිස් ගොනුවක් මේ sub folder එකටම save කර ගන්න. ‘settings.dat.txt’ නමින් ගොනුව හැදුනොත් වැඩේ සාර්ථක වෙන්නෙ නෑ. ඒ නිසා නම හරිද කියලා නැවත බලන්න.
  • මේ sub folder එක තුලම ‘Downloading’ සහ ‘Completed’ හෝ වෙනත් ඔබ කැමති නමකින් sub folder දෙකක් හදා ගන්න.
  • ඊළඟට uTorrent ස්ථාපන ගොණුව විවෘත කලාම ජංගම ස්ථාපනයක් ලැබෙනවා.
  • දැන් uTorrent > Preferences > Directories > Location of Downloaded Files යටතේ ‘.\Downloading’ සහ ‘.\Completed’ ලෙස බාගත කල යුතු තැන් ලබා දෙන්න.

මේ විදියට uTorrent දා ගත්තම ජංජාලෙ වැඩ කරන ඕනෑම පරිගණකයකින් ඔබට බාගත කිරීම නතර වුන තැන ඉඳලා පටන් අරන් ඉතුරු ටික සම්පූර්ණ කර ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ පරිගණකයට uTorrent සහිත මාධ්‍යය සම්බන්ධ කරලා එහි ඇති uTorrent ගොණුව ක්‍රියාත්මක කිරීම විතරයි.

ජංගම ස්ථාපනය ගැන මම කියෙවුවේ මෙතැනින්.

uTorrent Web User Interface | uTorrent අන්තර්ජාල අතුරුමූණත

යන යන තැන uTorrent අරන් ගිහින් වැඩ කරන්න අකමැති / අමාරු කෙනෙකුට තියෙන වෙනත් විසඳුමක් තමයි uTorrent අන්තර්ජාල අතුරුමූණත හෙවත් uTorrent Web UI. මෙහිදී සිදු වෙන්නේ ඔබ කැමති එක පරිගණකයක (උදා: නිවසේ ඇති පුද්ගලික පරිගණකය) uTorrent ස්ථාපනය කරලා වෙනත් පරිගණක වලින් (උදා: කාර්යාලයේ, පාසැලේ පරිගණකවලින්) අවශ්‍ය පරිදි එය දුර සිට පාලනය හෙවත් remote control කිරීමයි.

නිදසුනක් ලෙස මේ ක්‍රමය මගින් ඔබට පුලුවන් කාර්යාලයේදී හෝ පාසැලේදී දැන ගන්නා නවතම චිත්‍රපටියක්, නිවසේ ඇති පුද්ගලික පරිගණකයේ බාගත වීමේ ලැයිස්තුවේ මුලට කාර්යාලයේ සිටම ඇතුල් කරන්න. එවිට ඔබ වැඩ ඇරිලා ගෙදර එනකොට එය බාගත වෙලා අවසන් වෙලා තියෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් නවතම චිත්‍රපටිය කල් නොයවාම බලන්න පුලුවන්. හැබැයි ඉතින් බාගත වෙන කාලය ඇතුලත ගෙදර විදුලි බිලයි, bandwidth එකයිනම් වැය වෙනවා.

uTorrent Web UI එක ස්ථාපනය කරන්නේ මෙහෙමයි:

  • මේ සඳහා මුලින්ම uTorrent Web UI එක මෙතනින් බා ගන්න. (Web UI මුල් වරට භාවිතා කරද්දි මේ ගොණුව ඉබේම බෑවෙනවා කියලත් කොහෙන් හරි කියෙවුවා මතකයි. ඒත් මම කලේනම් මේ විදියට තමයි.)
  • බා ගත් ‘ZIP’ ගොණුව, ඔබ uTorrent ස්ථාපනය කළ folder එකටම දමා ගන්න. (සාමාන්‍ය ස්ථාපනයකදීනම්: ‘%appdata%\utorrent’ folder එක; කලින් කිවුව විදියේ ජංගම ස්ථාපනයකදීනම් එම folder එක)
  • ඔබ බාගත කිරීම් කරන්න යන පරිගණකයේ uTorrent විවෘත කරන්න.
  • දැන් uTorrent > Preferences > Web UI යටතේ Web UI enable කර ගන්න.
  • දුරස්ථ පාලනයට අවස්ථාව ඔබට පමණක් තිබිය යුතු නිසා User Name සහ Password එකක් ලබා දෙන්න.
  • uTorrent > Preferences > Connection > Port used for incoming connections වෙත ගොස් එහි පෙන්වන port අංකය සටහන් කර ගන්න.
  • දුරස්ථ පාලනය කරන්නේ ජාලයක් හරහා නිසා දැන් ඔබේ පරිගණකයේ IP Address එක බලා ගත යුතුයි. (http://whatismyip.com වෙත පිවිසීමෙන් ඔ‍බේ public IP address එකද, Windows හරහා Start > Run: “cmd” මගින් command prompt එක ලබාගෙන “ipconfig” ක්‍රියාත්මක කිරීමෙන් private IP address එකද සොයා ගන්න පුලුවන්.)
  • Web UI වෙනත් පරිගණකයකින් භාවිතා කිරීමට පෙර, එය නිවැරදිව ක්‍රියා කරනවාදැයි දැන් පරීක්ෂා කරන්න පුලුවන්. මේ සඳහා uTorrent පිහිටවූ පරිගණකයෙන්ම ඔ‍බ ප්‍රිය කරන අන්තර්ජාල පිරික්සුම් මෘදුකාංගය විවෘත කර මේ ලිපිනයට යන්න: http://localhost:Port/gui – මෙහි Port වෙනුවට කලින් කියපු විදියට බලා ගත් නිවැරදි දත්ත ආදේශ කරන්න. User Name සහ Password විමසන විට එයද නිවැරදිව ලබා දෙන්න.
  • ඉහත පරීක්ෂණය සාර්ථකනම් ඔබට දැන් බාහිර පරිගණකයකිනුත් Web UI භාවිතා කරන්න පුලුවන්.
  • ඒ සඳහා ජංජාල පහසුකම් ඇති ඕනෑම පරිගණකයකින් අන්තර්ජාල පිරික්සුම් මෘදුකාංගය විවෘත කර මේ ලිපිනයට යන්න: http://IP_Address:Port/gui ‍- මෙහි IP_Address සහ Port වෙනුවට කලින් කියපු විදියට බලා ගත් නිවැරදි දත්ත ආදේශ කරන්න. පරිගණක ජාලය (LAN) තුල පරිගණකයක් සඳහානම් private IP එකත්, ජංජාලය හරහා පාලනය කිරීමට public IP එකත් ආදේශ කරන්න. User Name සහ Password විමසන විට එයද නිවැරදිව ලබා දෙන්න.

Web UI ගැනනම් හොඳ විස්තරයක් uTorrent documentation වලින්ම හොයා ගන්න පුලුවන්.

මේ පහසුකම් මම දැන් මාස කීපයක්ම භාවිතා කරනවා. ඔබටත් portable installation සහ web interface යොදා ගැනීමෙන් uTorrent භාවිතය තවත් පහසු වේවි. මේ ගැන ඔබේ අත්දැකීම් බෙදා ගන්න කැමතියි. ගැටලුවක් ආවොත් ඒවටත් දන්න තරමින් උත්තර දෙන්නම්.

Posted in Tech | Tagged , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 4

A Movie Story | චිත්‍රපටි කතාවක්

වැඩි දෙනෙක් නොදන්න විස්තරයක් අරන් ඊළඟ ලිපියෙන් හමු වෙන්න හිතන් හිටියත්, ඊට කළින් මේ පොඩි කතාව ලියන්න හිතුනා. අනික මුල් ලිපි දෙකම තාක්ෂණික ඒවා වුනාම “‍පොඩි කතා” ඉබේම technical blog එකක් වෙනවනේ…

මේ පොඩි කතාව මතක් වුනේනම් කතන්දරට Comment කරපු තිසරගෙ, Cassandra Crossing කතාව කියවලා.

මේ සිද්ධිය වුනේ මම විස්ස විජ්ජාලෙ ඉන්න කාලෙදි. අපි සෙට් එකක් වීඩියෝ කඩේකින් ගෙනාවා හොඳ චිත්‍රපටියක VCD තැටියක්. (මතක හැටියට Gladiator හෝ ඒ වගේ සම්මානලාභී චිත්‍රපටියක්.) කාගෙ හරි පරිගණකයකට දමලා කට්ටියම කතා බහ කරමින් තමයි අපි ඕක බැලුවේ. ආරංචි වෙලා තිබුණ විදියටම ඒ චිත්‍රපටියනම් මරේ මරු.

ඉතින් Gladiator බලන්න බැරි වුන අපේම යාලුවෝ දෙන්නෙකුටත් ඇහුනා බලපු අය හොඳයි කියලා කතා වෙනවා. හැබැයි මේ අය චිත්‍රපටිය ගැන කලින් අහලාවත් තිබුණ අය නෙවෙයි. අපි තැටිය ආපහු බාර දෙන්න කලින් ඒක ඒ දෙන්නා ඉල්ල ගත්තා එයාලටත් බලන්න කියලා. මුන් දෙන්නා නේවාසිකාගාරෙකට ගිහින් අපේ තවත් යාලුවෙකුගේ පරිගණකයක් පන ගන්නලා Gladiator බලලා තැටියත් ගෙනත් දුන්නලු.

ඉතින් දවස් කීපයකට පස්සේ Gladiator ගැන කතා වෙන වෙලාවක අපේ යාලුවෝ දෙන්නානම් කියන්නේ ඝනයක් ගැනයි. අපිත් පුදුම වෙලා හොයලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා.

හොයලා බලනකොටයි දන්නේ… මෙයාලා තැටිය ධාවකයට ඇතුල් කරලා මෘදුකාංගයත් විවෘත කලාට ධාවනය කරලා තියෙන්නේ අන්තිමට දෘඩ තැටියෙන් විවෘත කල ඝනයක්! කලින් Gladiator ගැන අහලාවත් නොතිබුනු නිසා ‍Gladiator කියලා හිතාගෙන ඉවර වෙනකම්ම බලලා.

පොඩි කතාව ‍කොහොමද කියලා Comment කරන්න අමතක කරන්න එපා.

Posted in Ent | Tagged , , , , , , , , , , , , | ප්‍රතිචාර 2

Downloads and BitTorrent | බාගත කිරීම් සහ බිට්ටොරන්ට්

බාගත කිරීම් ගැන තැන් තැන්වලින් දැන ගත්තු කරුණු ටිකක්, මගේ අත්දැකීමුත් එකතු කරලා මුලින්ම කියන්න හිතුනා.

අන්තර්ජාලයේ මුල් යුගයේදි බාගත කිරීමක් කියද්දි අපේ මතකයට ආවේ කිලෝ බයිට් 50 – 100 අතර තරමේ ගොණුවක් අපේ පරිගණකයට ලබා ගැනීමයි. තිරය මත පෙනෙන කුඩා පින්තූරයක (Thumbnail එකක) සම්පූර්ණ රූපය හෝ මිඩි (MIDI) සංගීත ගොණුවක් වැනි දේවලට බොහෝ විට ඒ බාගත කිරීම් සීමා වුනා. මේ වැඩේට අන්තර්ජාල පිරික්සුම් මෘදුකාංගය හොඳටම සෑහුනා. ගබඩා කර තිබූ සේවාදායක පරිගණකයේ සිට ඔබට වුවමනා ගොණුව කෙලින්ම ඔබේ පරිගණකයට ලඟා වීම තමයි එහිදී සිදු වුණේ.

ඒත් වසර 2000 විතර වෙනකොට අන්තර්ජාලය ව්‍යාප්ත වීමත් එක්ක තත්වය ටික ටික වෙනස් වෙන්න පටන්ගත්තා. බාගත කිරීමක් ගැන අපේ අදහස මෙගා බයිට් 2 – 6 විතර සීමාවකට ආපු මේ කාලෙදි සිංදු සහ පොඩි පොඩි මෘදුකාංග බාගන්න බොහෝ දෙනෙක් හුරු වුනා. මේ වැඩේ පහසු කර ගන්න බාගත කිරීම් පරිපාලක මෘදුකාංග (Download manager) ගොඩකුත් බිහි වුනා.

සාමාන්‍ය බාගත කිරීම් පරිපාලක මෘදුකාංගයකින් ලැ‍බෙන වාසි 3ක් විතර කියන්න පුලුවන් මේ විදියට:
• බාගත කිරීම සම්පූර්ණ වෙන්න කලින් ඕනනම් තාවකාලිකව නවත්වන්නත් පස්සේ ඕනනම් නැවතුන තැන ඉඳලා බාගත කර ගන්නත් ඉඩ දීම. (Pause and resume support)
• අපිට ඕන ගොණුව කැඩපත් සේවාදායක පරිගණක (Mirror servers) කීපයකම තියෙනවනම්, ඒවායින් ‍අපිට ඒ වෙලාවෙ වේගවත්ම සේවාදායකයන්ට සම්බන්ධ වෙලා බාගත කිරීම කර දීම. (Mirror handling)
• වේගවත්ම බාගත කිරීමක් ලබා දීමට එකම‍ ගොණුව කොටස් කිහිපයක් ලෙස සලකා, එකම සේවාදායකයෙන් හෝ කැඩපත් සේවාදායකවලින් එකවර බාගත කර දීම. (Downloading in segments)

Download manager මෘදුකාංග ගැන සම්පූර්ණ විස්තරයක් ඕන කෙනෙකුට මෙතනින් කියවන්න පුළුවන්.

කොහොම වුනත් දැන් මේ තත්වයත් හොඳටම වෙනස් වෙලා. ජංගම දුරකතනය හරහා පිවිසෙන්න හැකි වීමත්, ADSL හා 3G වැනි තාක්ෂණික දියුණු වීමුත්, ගාස්තු දැරිය හැකි සීමාවට අඩු වීමත් නිසා අන්තර්ජාලය දැන් පොදු ජනයාට හුරු තැනක් වෙලා. බාගත කරනවා කියද්දි මෙගා බයිට් 50 – 100 තරමේ මෘදුකාංග හා වීඩියෝ සිංදු වගෙ දේවල් තමයි දැන් අපේ හිතට එන්නේ. මීටත් වඩා ලොකු, ගිගා බයිට් 1 – 5 අතර තරමේ චිත්‍රපටි වැනි ඉතා ‍විශාල බාගත කිරීම් පවා අද කාලේ සුළු දෙයක්.

මෙවැනි විශාල බාගත කිරීම් ඉතා වේගයෙන් කර ගන්න දැන් භාවිතා වෙන්නේ බිට්ටොරන්ට් තාක්ෂණය තමයි.

මේ තාක්ෂණය ගැන සරලව කිවුවොත් මෙහෙමයි: මුලින්ම කරන්න තියෙන්නේ uTorrent වැනි බිට්ටොරන්ට් සේවාලාභී මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න එකයි. මේ ගැන වැඩි විස්තර මම වෙන ලිපියකින් කියන්නම්. ඊළඟට හොයා ගන්න වෙන්නේ තමන්ට ඕන අන්තර්ගතය ලබා දෙන බිට්ටොරන්ට් ගොණුවයි. උදාහරණයක් හැටියට ඔබට ඕන මෘදුකාංගය මෙගා බයිට් 500 වෙන බවත් එයට අදාල බිට්ටොරන්ට් ගොණුව කිලෝ බයිට් 30 – 500 පමණ වෙන බවත් සිතමු. බිට්ටොරන්ට් ගොණු ලබා දෙන වෙබ් අඩවි පිරික්සලා තමන්ට ඕන මෙගා බයිට් 500 මෘදුකාංගයට අදාල බිට්ටොරන්ට් ගොණුව හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ බිට්ටොරන්ට් සේවාලාභී මෘදුකාංගය මගින් මේ බිට්ටොරන්ට් ගොණුව විවෘත කලාම මෙගා බයිට් 500ක් විතර වෙන ඔබට ඕන මෘදුකාංගය බාගත වෙන්න පටන් ගන්නවා.

සරලව කියනවනම් ඒ ටික ඇති. ඒත් මේ ටිකත් දැන ගත්තොත් වටිනවා. සාමාන්‍යයෙන් අපි දෙයක් බාගත කරද්දී, කලින් කිවුව විදියට සේවාදායක පරිගණකය සමග තමයි ගනුදෙනු කරන්නේ. ඒත් මේ බිට්ටොරන්ට් තාක්ෂණයෙදි අන්තර්ගතය ලබා දෙන්න මධ්‍යගත සේවාදායක පරිගණක යොදා ගන්නේ නෑ. ඒ වෙනුවට බාගත වීම සිදු වෙන්නේ අදාල ගොණු(ව) මේ වනවිටත් බාගෙන ඇති අනිත් බාගත කරන්නන්ගේ පරිගණක වලිනුයි. මේ නිසා බාගත කරන්නන් ගණන වැඩි වන විට බර වැඩි වෙලා සිද්ධ වෙන කරදර බිට්ටොරන්ට් තාක්ෂණයෙදි සිදු වෙන්නේ නෑ.

ඒ වගේම බිට්ටොරන්ට් තාක්ෂණයට බලපාන නීතිමය තත්ත්වයත් සාමාන්‍ය බාගත කිරීම්වලට වඩා වෙනස්. මේ නිසාත්, විශාල ගොණු බාගත කිරීමට දැනට තියෙන හොඳම තාක්ෂණය වීම නිසාත් චිත්‍රපටි සහ මෘදුකාංග වගේ දේවල් නීති විරෝධීව බාගත කිරීමට ඉඩ ලබා දීම ගැන බිට්ටොරන්ට් තාක්ෂණයට සෑහෙන්න චෝදනා එල්ල වෙන‍වා.

හුඟ දෙනෙක් දන්නවා ඇති කියලා හිතුනත් බාගත කිරීම ගැන මේ විස්තර සරලව කියන්න හිතුනෙ මීළඟ ලිපියට පසුතලයක් හදා ගන්නයි. වැඩි දෙනෙක් නොදන්න විස්තරයක් අරන් ඊළඟ ලිපියෙන් හමු වෙන්නම්.

බිට්ටොරන්ට් තාක්ෂණය ගැන වැඩි විස්තරයක් ඕන කෙනෙකුට මෙතනින් කියවන්න පුළුවන්.

Posted in Tech | Tagged , , , , , , , , , , | එක් ප්‍රතිචාරයක්

MP Talk’s පොඩි කතා

කාලයක් තිස්සෙම බ්ලොග් එකක් ලියන්න ආසාවක් තිබුණා. නිතර අලුත් ලිපි දාන්න වෙලාවක් නැති බව දන්න නිසා තමයි වැඩේ කල් ගියේ. ඒත් කාලෙකට සැරයක් හරි ලියන්න පුලුවන්නම්, කොහෙත්ම නොලියා ඉන්නවාට වඩා ඒකත් හොඳයිනේ… එහෙම හිතලා අන්තිමේදි අද තමයි ඔන්න පටන් ගත්තේ.

දශක තුනකට ආසන්න කාලයක් පුරා අහපු, දැකපු, කියවපු ‍පොඩි ‍පොඩි කරුණු ටිකක් තමයි මම කියන්න යන්නේ. ඒවා ඇත්ත‍ටම කතන්දරනම් නෙවෙයි. පොඩි කතා වගේම තාක්ෂණික දේවල් ගැනත් ලියන්න හිතේ තියෙනවා. ඒත් සිංහල බ්ලොග් එකකට දැනටමත් තියපු නැති නමක් දාන්න උත්සාහ කල නිසයි අන්තිමේදි “පොඩි කතා” කියන නම තෝර ගත්තේ…

“MP Talk’s පොඩි කතා” එක්ක රැඳී ඉන්න කියලා ඔබ සැමටම ආරාධනා කරනවා!

Posted in PT | Tagged , , | ප්‍රතිචාර 2