Software for Free | නොමිලේ මෘදුකාංග

ලක්ෂ ගණනින් මිල ක‍රලා තියෙන මෘදුකාංග MPTalks නොමිලේ දෙන්න යනවා කියලා හිතුනද මාතෘකාව දැක්කට පස්සේ? නොමිලේ මෘදුකාංග බා ගන්න ලෑස්ති වෙන්න කලින් ලිපිය ඉවර වෙනකම් කියවලාම බලන්නකෝ.

මේක මම සෑහෙන කාලයක් තිස්සෙම කියන්න හිතාගෙන හිටි දෙයක්.

ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ බොහෝ රටවල පවතින නීති රීති අනුව පරිගණක මෘදුකාංග මංකොල්ලය/සොරකම (Software Piracy) දඬුවම් ලැබිය හැකි වරදක්. ඒත් අති බහුතරයක් පරිගණක භාවිතා කරන්නන් කවදාක හරි මෘදුකාංග මංකොල්ලයට හවුල් වෙලා තියෙනවා කිවුවොත් නිවැරදියි කියලා මම හිතනවා. පුද්ගලික භාවිතයේ තියෙන පරිගණක විතරක් නෙවෙයි; අපේ රටේනම් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර (SMB), පුණ්‍යායතන හෝ රාජ්‍ය ආයතනයක පරිගණකයක් වුනත් පරීක්ෂා කෙරුවොත් එකතුව රුපියල් ලක්ෂ ගාණක් වන තරමේ නීති විරෝධී මෘදුකාංග හොයා ගන්න පුලුවන් වෙයි. නීත්‍යානුකූල මෘදුකාංග විතරක් භාවිතා කරන මහා පරිමාණ ව්‍යාපාරනම් ලංකාවෙ තියෙනවා. ඒ හැරුනම ලංකාවෙ කොතනත් තත්වය මම දන්න තරමින් ඔය වගේ තමයි.

සමහර පරිගණක විද්වතුන් සහ පරිශීලකයන් හිතන්නේ මෘදුකාංගවලට මේ විදියේ නීතිමය රැකවරණයක් ඕන නෑ කියලයි. මේ මතය ගැන වැඩි විස්තර මෙතනින් කියවන්න පුලුවන්. සමහර anti copyright arguments ගැනනම් මම එකඟ වෙනවා. අනික ඔය කොයි මෘදුකාංගයත් නොමිලේ ලැබෙනවනම් මමත් හරි කැමතියි. එහෙම වුනත් දැනට පවතින නීතියට අවනත වෙන්න ඕන නිසා මම ප්‍රතිපත්තිමය වශයෙන් මෘදුකාංග සොරකම අනුමත කරන්නේ නෑ. (‘සොරකම’ කියන වචනෙන්ම තේරෙනවනෙ වැරදි වැඩක් කියලා…)

මෙහෙම නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතා කිරීම ගැන සදාචාරාත්මක විග්‍රහයක් මෙතනින් කියවන්න පුලුවන්.

දැන් සමහරුන්ට හරි ප්‍රශ්නයක් ඇති. මූ මේ පිස්සු කියවනවා. අපිට සල්ලි දීල ගන්නද එහෙනම් කියන්නේ කියලා. ඔන්න දැන් මම කියන්න යන්නේ ඒකට විසඳුම. ආයිත් සැරයක් මේ පෝස්ට් එකේ මාතෘකාව කියවන්නකෝ මුලින්ම… දැන් තේරුනාද?

අද කාලෙ සාමාන්‍ය පරිශීලකයෙකුගෙ ‍බොහෝ මෘදුකාංග අවශ්‍යතා ‍නීත්‍යානුකූලවම සපුරන්න පුලුවන්, උසස් තත්වයේ ‘නොමිලේ මෘදුකාංග’ (freeware) තියෙනවා. (‍‘සාමාන්‍ය පරිශීලකයෙකුගෙ’ කියලා කිවුවේ, වෘත්තීයවේදීන්ගෙ අවශ්‍යතා ගැන තත්වය මීට තරමක් වෙනස් නිසයි.)

මේ නිසා හොරකම නවත්තලා නීතිගරුක ජංජාලවැසියෙක් වෙන්න ඔබටත් පහසුවෙන්ම පුලුවන්. අදින් පස්සේ නව මෘදුකාංගයක් අවශ්‍ය වුනාම, අදාල ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නමක් තියෙන වාණිජ මෘදුකාංගයේ පිටපතකුයි එහි crack එකයි අමාරුවෙන් හොයන්න ඕන නෑ. ඒ වෙනුවට ඔබේ අවශ්‍යතාවය හොඳින්ම සපුරන ‘නොමිලේ මෘදුකාංගය’ සොයාගෙන එය ස්ථාපනය කලාම හරි.

ඒත් ඉතින් හොඳින්ම ගැලපෙන ‘නොමිලේ මෘදුකාංගය’ මොකක්ද කියලා හොයා ගන්නේ කොහොමද? මම දන්න ලේසිම විදිය මීලඟ ලිපියෙන් කියන්නම්. වාණිජ මෘදුකාංග වෙනුවට freeware භාවිතා කිරීම ගැන ඔබ හිතන්නේ කොහොමද කියලා comment කරන්නකෝ එතකම්.

Advertisements
Posted in Tech | Tagged , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 5

Call 119 | 119ට කියන්න

පහුගිය දවස්වල සුපුරුදු වැඩවලට අමතරව අවසන් බිලකුත් චෙක් කරන්න වුනා. ඒ නිසා මොනවත් ලියන්න තියා සිංහල බ්ලොග් අවකාශෙ පැත්තෙ එන්නවත් වෙලාවක් තිබුනේ නෑ.

කාලෙකට පස්සේ ඇවිත් අදත් කියන්න යන්නේ ෆෝන් කතාවක්ම තමයි. ජංගම දුරකථන, ගෙදර දුරකථන, නාඳුනන දුරකථන අංක ගැන කියපු නිසා ෆෝන් කතා වැඩිද කියලත් හිතෙනවා. කමක් නෑ. මේකත් කියවලා බලන්න. වෙලාව තියෙන හැටියට ඉදිරියේදි වෙනස් දේවල් ගැනත් කියන්නම්…

කතාවට කලින් මේ විස්තරේ කියන්නේ හැමෝටම වැදගත් වේවි කියලා හිතෙන නිසයි.

2004 නොවැම්බර් මාසෙදි තමයි ශ්‍රී ලංකාවෙ අපිට 119 කියලා හදිසි දුරකථන අංකයක් හඳුන්වා දුන්නේ. ඊට කලින් විවිධ ආයතනවල වෙනස් අංක ගොඩකට කතා කරන්න වුන කරදරය මේ නිසා නැති වුනා. 119 දුරකථන අංකයට ලංකාවෙ දුරකථනයකින් කතා කලාම ශ්‍රී ලංකා පොලීසියෙ හදිසි ඇමතුම් සේවය තමයි සම්බන්ධ වෙන්නේ. මේ ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්.

‍දැන් හැමෝම දන්නවා ලංකාවෙ ඕනෑම ජංගම / ස්ථාවර දුරකථනයකින් මේ අංකයට නොමිලේ කතා කරන්න පුලුවන් කියලා. ඒත් ෆෝන් එකේ (පෙර ගෙවුම් ගිණුමේ) සල්ලි ඉවර වුනාම, ජංගම දුරකථනයට සංඥා නැති වෙලාවට, කීපෑඩ් එක ලොක් වුනාම, පාස්කෝඩ් දන්නේ නැති ලොක් වුන ජංගම දුරකථනයකින් විතරක් නෙවෙ‍යි; සිම් එකක් නැතුවම වුනත් පොලිස් හදිසි ඇමතුම් සේවයට කතා කරන්න පුලුවන් බව ඔබ දන්නවාද? හැබැයි මේ කියපු අවස්ථා වලදිනම් පහත කියන විදියට තමයි කරන්න වෙන්නේ:

සංඥා නැතිව / සිම් එක නැතිව කතා කරන්නනම් අවම වශයෙන් වෙනත් දුරකථන ‍සමාගමක සිග්නල් තියෙන්න ඕන. ඒ වගේම මේ කියන විදියේ වෙලාවලදි බොහෝ නිෂ්පාදකයන් (Nokia, Sony Ericsson etc.) ඔබට dial කරන්න ඉඩ දීලා තියෙන්නේ 112 ඇතුලු තවත් අංක කීපයක් විතරයි. ඒ නිසා එහෙම වෙලාවක 112 dial කලානම් හරි. මොකද; 112 අංකයත් ලංකාවෙදි සම්බන්ධ වෙන්නේ පොලිස් හදිසි ඇමතුම් සේවයටම තමයි. කොහොමද ටිකිරි මොලේ..?

Wikipedia මුත්තා කියන විදියටනම් 119 dial කරන්න අවසර තියෙන වෙලාවක වුනත් කෙලින්ම 112 dial කරන එකේ වාසි තියෙනවා. 112 හදිසි දුරකථන අංකයක් හැටියට දුරකථන‍ය hardware මට්ටමෙන්ම අඳුනන නිසා තමයි ඔය විදියෙ වාසියක් 112 අංකයට ලැබෙන්නේ. හදිසි දුරකථන අංකය dial කලාම සම්බන්ධ වෙන හැටි ඇතුලු වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්.

දැන් ඉතින් පොඩි කතාව කියන්නම්. මේක ‍අපේ ව්‍යාපෘතියේ කොන්ක්‍රීට් එකක් දාද්දි වෙච්ච ඇත්ත සිද්ධියක්. හැමෝම ඔය ගැන දන්නේ නැති නිසයි මේ කියන්නේ: සාමාන්‍යයෙන් මිශ්‍රකරන වැඩපොලේදි (Batching Plant එකේදි) අවශ්‍ය අනුපාතයට මිශ්‍ර කරලා තමයි වැඩපොලට කොන්ක්‍රීට් එවන්නේ.

දවසක් කොන්ක්‍රීට් එකට වතුර වැඩියි කියලා Consultant Engineer කෙනෙක් Contractor ට කිවුවා. Contractor ගත් කටටම කිවුවලු 119ට කියන්න කියලා. ඉතින් Engineer 119ට එක පාරම dial නොකර කල්පනා කරලා කොන්ක්‍රීට් එකට වතුර වැඩි වෙන එක ජාතික ආරක්ෂාවටවත් බලපෑමක් තියෙනවාද කියලා. එහෙම සම්බන්ධයක් හොයා ගන්න බැරි වුන නිසා Contractorගෙන් ආයිත් ඇහුවලු ඇයි 119ට කියන්න කිවුවේ කියලා.

එතකොට තමයි වැඩේ මීටර් වුනේ. Batching Plant Manager ගෙ දුරකථන දිගුව හෙවත් Extension එකත් 119ලු. (කතා කරන්න කියලා තියෙන්නේ 119 අංකයට නෙවෙයි. 119 දිගුවටයි.)

🙂

කලින් කියපු විස්තර මම දන්න තරමින් තමයි කිවුවේ… මේ ගැන ඔබ හිතන දේ ‍කමෙන්ට් කරන්න.

Posted in Ent, PT | Tagged , , , , , , , , , , , , | ප්‍රතිචාර 8

Approve or Forward? | ඇප්රූව්ද? ෆෝවඩ්ද?

පොඩි කතාවලින් මඩ කතාවලට යන්න හිතිලා නෙවෙයි… මේක ජොලි කතාවක් නිසයි ලියන්නේ.

රජයට සම්බන්ධ ආයතනයක ප්‍රාදේශීය කන්තෝරුවක ලොක්කා ළඟදී උසස්වීමක් ලැබිලා මාරු වෙලා ගියා. මෙයා වෙනුවට පත් වෙලා ආවේ තරුණ ඉංජිනේරුවරියක්. මේ මැඩම්ගෙ තාක්ෂණික හැකියාවන් මේ කතාවට අදාල නෑ. ඒත් පරිපාලන වැඩ – ඒ කිවුවේ මහ සංකීර්ණ දේවල් නෙවෙයි – ඔය ලියුමකට රිප්ලයි කරනවා වගේ දේවල් – ගැනනම් මෙයාට පලපුරුද්දක් නැති බව කට්ටියට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

ඒක ඉතින් ලැජ්ජා වෙන්න දෙයක්නම් නෙවෙයි. අලුත් තනතුරක්නේ… මැඩම්‍ට කරන්න තිබුනේ ප්‍රශ්නයක් ආපු වෙලාවට, හිටපු ලොක්කට හෝ තමන්ගෙ දෙවැනි නිලධාරියාට නැත්නම් ඒ ඒ විෂය සම්බන්ධයෙන් වැඩ කරලා පුරුදු ලිපිකරු ශ්‍රේණියේ කෙනෙකුටවත් කතා කරලා ඒ ගැන වැඩි විස්තරයක් අහගන්න එකයි. සතියක් දෙකක් යනකම් ඔය විදියට කරලා වැඩේ හරියට ඉගෙන ගත්තනම් අපි කවුරුත් අහිතක් හිතන්නෙ නෑ. පැහැදෙනවා මිසක…

ඒත් මෙයා තෝර ගත්තේ වෙන ක්‍රමයක්. මෙයා ඔය එක්කෙනෙක්ගෙන්වත් අහන්න ගියේ නෑ ලැජ්ජාව නිසාද කොහෙද. ඒ වුනාට ලියුම, පොත අරන් එන කාර්යාල සහායකගෙන් අහනවා කලින් සර් හිටියානම් මොකද කරන්නේ කියලා… පීචංනේ නේද? ඉතින් ඔය වැඩ ගැන මොන මගුලක්වත් දන්නේ නැති පියන් කරන්නේ අර මිස්ට දාන්න… මේ සර්ට බාර දෙන්න කියන එක තමයි. ඒ කියන විදියට මැඩම් ඇක්ෂන් එක ගත්තත්, කවදාවත් instructions, comments වගේ දෙයක් ලිවුවෙත් නෑ. එහෙම ලියන්න කියලා පියන් කිවුවේ නැති නිසා වෙන්න ඇති… 😀

ලඟදි දවසක ඔය වගේ ලියුමක් ගෙනත් දුන්නම මේ මැඩම් පියන්ට ඇහෙන්න ඒකෙ කොටසක් කියවලා… ලියුම තිබුනේ කඩ්ඩෙන්. ඊට පස්සෙ මැඩම් ඇහුවලු අපි මේක ඇප්රූව්ද? ෆෝවඩ්ද කරන්නේ කියලා. පියන් මහත්තයා ටක් ගාලා දුන්නලු final decision එකෆෝවඩ් කරන්න මැඩම් කියලා.

ටික වෙලාවකට පස්සේ පියන් තව කෙනෙක් ලඟට ගිහින් කිවුවලු මේ විදියට:

ඇප්රූව්නම් මම දන්නවනේ. ඉතින් ෆෝවඩ් කියන්නේ ඊට වඩා වැදගත් දෙයක් වෙන්න ඇති කියලා මම ෆෝවඩ් කරන්න කිවුවා. ඇත්තට මොකක්ද සර් ෆෝවඩ් කියන්නේ? කියලා.

😀

ප. ලි.: පියන්ට කඩ්ඩෙන් තිබුන ලියුමේ මොන මළ දානයක්වත් තේරුනේ නැති බව කියන්න දෙයක් නෑනේ. නේද?

Posted in Ent | Tagged , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 7

Home Phone Number | ගෙදර දුරකථන අංකය

ජංගම දුරකථන වගේ ගැජට් කෑලි නිසා මිනිසුන්ගේ මතක ශක්තිය අඩු වෙලා බව මෑතකදි කියෙවුවා මතකයි. මේ කාලෙ හැමෝම වගේ තමන්ගේ සමීප අයගේ විස්තර දුරකථනයේ මතකයට දාලා තමන්ගේ මතකයෙන් අයින් කර ගන්න නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ. ඔයින් මෙයින් අපි හුඟ දෙනෙකුට තමන්ගෙම අංකයවත් මතක නෑ. අද කියන්න යන්නේ ඔය වගේ පොඩි කතා දෙකක්.

පළවෙනි එක වුනේ අපි රිගා පාරේ චමරියේ ඉන්න කාලේ. චමරියේදි වැඩි දෙනෙක් ලංකාවට කතා කරන්න පාවිච්චි කලේ රැහැන් දුරකථනය හෙවත් ලෑන්ඩ් ෆෝන් එක. හැමෝටම ජංගම දුරකථන තියෙද්දිත් ඔහොම වුනේ Etisalat එකෙන් 10% ඩිස්කවුන්ට් එකක් ලැබෙන නිසා වෙන්න ඇති මම හිතන්නෙ. හැබැයි ඉතින් කතා කරලා ඉවර වුනාම තමන් ගත්තු කෝල් එක අඳුන ගන්න, වෙලාවයි අංකයයි ලියන්න ඕන. මේකට පොඩි නෝට් පොතක් තියලා තිබුනා. එතකොට මාසෙ අන්තිමට බිල ආවම එක එක්කෙනාගෙ ගණන් සෙට්ල් කරන්න ලේසියි.

ඒත් ඔය විදියට ලියලා නැති අංක 4ක්, 5ක් විතර හැම මාසෙම අයිතිකාරයා හොයා ගන්න බැරුව ඉතුරු වෙනවා. එහෙම වුනොත් කලින් මාසවල බිල් බලලා, චමරියේ සාමාජිකයන්ගෙන් අහලා ඕක හොයා ගන්න පුලුවන්. එහෙමවත් විස්තරයක් දැන ගන්න බැරි වුනොත් කරන්නේ ඒ අංකයට ආපහු කතා කරලා කවුද අහවල් දවසේ කෝල් කලේ කියලා ෂේප් එකෙන් අහගන්න එකයි. එතකොට ඒ ඇමතුම් දෙකේම ගාස්තුව කලින් දවසේ කතා කල කෙනාට ගෙවන්න වෙනවා. කලාතුරකින් තමයි ඔය විදියට අන්තිම පියවරට යන්න වෙන්නේ.

ඔන්න එක මාසෙක චමරියෙ බිල හදන්න තිබුනේ ප්‍රභාත්ට. ඒ මාසෙත් අන්තිමට එක අංකයක් ඉතුරු වුනා අයිතිකාරයා හොයන්න බැරුව. කීප දෙනෙක්ගෙන්ම ඇහුවත් අංකය දන්නෑ කියපු නිසා ප්‍රභාත්ට තද වෙලා හිටියේ. “ගත්තු කෝල් ලියන්න කියලා මුන්ට හැමදාම කියනවා… ඒත් මුන්ට ඔය ටික කරන්න බෑනේ.” කියලා බැන බැන ප්‍රභාත් දුරකථනය අතට ගත්තා. වීරයා වගේ කෙලින්ම කතා කලා නාඳුනන අංකයට.

ප්‍රභාත්: හලෝ… මේ ඩුබායිවලින් කතා කරන්නේ. ඔයාලගෙ අඳුනන කෙනෙක් ඉන්නවාද මේ පැත්තේ..?

එහා පැත්තෙන්: ආ… කතා කරනකම් තමයි හිටියේ. දැන්ද ගෙදර මතක් වුනේ..?

බැලින්නම් ඒ තිබිලා තියෙන්නේ ප්‍රභාත්ගෙම ගෙදර අංකය. ආන්සර් කරලා තියෙන්නේ තාත්තා!

😀

මෙන්න දෙවෙනි කතාව.

අපි ඒ ලෙවල් කරන කාලෙදි තිබුන පාටියකදි එකෙකුට ටිකක් වැඩි වුනා. අපි මෙයාට එරංග කියමුකෝ. ටිකක් වැඩි වුනාම හුඟ දෙනෙක් කියනවා වගේ එරංගත් කිවුවෙනම් එයාට කිසි වැඩියක් ‍නෑ කියලයි. ඇත්තටම ලොකු වැඩියක්නම් තිබුනෙ නෑ. ඒත් මේ ඉස්කෝලෙ යන කාලෙනෙ. ඒ නිසා එයාව ගෙදර යවන එක භයානකයි කියලා වෙන ‍තැනක නවත්වන්න යාලුවො ටික තීරණය කලා. හැබැයි මේ තීරණය ගැන එරංගට කිවුවෙ නෑ. වැඩියි කියල පිලිගන්නෙ නැති එකා වෙන තැනක නතර වෙන්න කොහොමටත් කැමති වෙන්නෙ නෑනෙ. ඒකයි.

එරංගගෙ ගෙදර නම්බර් එක කොහොම හරි අමාරුවෙන් හොයා ගත්තු කට්ටිය සුරංගට බාර දුන්නා කෝල් කරලා ගෙදරට බොරුවක් කියන්න. සුරංග කතා පෙට්ටියකට කාසි දාලා කෝල් එක ගන්නකම් කට්ටියම පොඩ්ඩක් සද්ද නැතුව හිටියා.

එරංග විතරක් හිතාගෙන හිටියේ, සුරංග කතා කරන්නේ තමන්ගෙම ගෙදරට කියලා. ටිකක් වෙලා මේක බලාගෙන හිටපු  එරංග පැනලා ගිහින් උදුර ගත්තා ෆෝන් එක. ඊට පස්සේ “අංකල්… අපි අද එද්දි ටිකක් රෑ වෙනවා…” කියලා, තවත් මොන මොනවද කියලා ‍ෆෝන් එක තිබ්බා.

දැන් කට්ටියටම අප්සෙට් මේ වෙච්ච දේ ගැන. සුරංගට අප්සෙට්, එරංගගේ ගෙදරට බොරු කියන්න ගිහින් මාට්ටුද කියලා. ඒ අස්සේ එරංගත් අප්සෙට් පිටම අහනවා: “මචං අපේ ඩඩාගෙ වොයිස් එක… උඹ ඒ කාටද ‍‍ෆෝන් කලේ?” කියලා.

Posted in Ent | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , | එක් ප්‍රතිචාරයක්

Another Movie Story | තවත් චිත්‍රපටි කතාවක්

පිස්සා Robin of Sherwood ගැන ලියපු ලිපිය කියවලා මම ලියපු රොබින් හුඩ් කතාව දැක්කද? ඒ විදියටම මේ සැරේ පිස්සා Boys චිත්‍රපටිය ගැන ලියපුවා දැක්කම මටත් ආයිත් හිතුනා කතාවක් කියන්න… අලුත් මාතෘකාවක් හොයා ගන්න මගේ තියෙන නොහැකියාවද, නැත්නම් interesting මාතෘකා හොයා ගන්න පිස්සගේ තියෙන හැකියාවද කියලානම් මම දන්නේ නෑ. කොහොම වුනත් පිස්සට ස්තුති කරලම පටන් ගන්නවා ඔන්න.

Boys චිත්‍රපටිය ආවේ මම කැම්පස් ඉන්න කාලේදි. අපි ඉඳලා හිටලවත් දෙමළ චිත්‍රපට බලන අය නොවුනත්, මේක හොඳයි කියලා ආරංචි වුන නිසා අපි කට්ටියටත් ඕන වුනා Boys බලන්න.

ඔන්න ඉතින් අපේ දෙමළ සංහතියට (ඒ කාලේ ෆිට් එකටයි ඔහොම කිවුවේ. තරහට නෙවෙයි.) ඔය ආසාව ගැන නිකමට වගේ කිවුවම එකෙක් කිවුවා එයා වැල්ලවත්තෙ ගිය වෙලාවක VCD එකක් ගෙනත් දෙන්නම් කියල. ඔය කාලෙ අපි DVD තාක්ෂණයට පිවිසිලා නෑ. VCD එකක් ගන්නෙත් සෑහෙන අමාරුවෙන් කලෙක්ෂන් එකක් දාලා. ඒ නිසා නොමිලෙම චිත්‍රපටිය ලැබෙන්න යන එකට අපි උඩින්ම කැමති වුනා. නිකම් දෙනවනම් දෙමළ පත්තරෙත් ගන්නවා කියල කතාවකුත් තියෙන්නේ…

ඒත් දවසක් දෙකක් බලන් හිටියත් පොරොන්දු වුන විදියට VCD එකනම් ලැබුනේ නෑ. ඒ නිසා අපි ඕක ගෙනත් දෙනකම් හැමදාම Boys ඉල්ල ඉල්ලා කරදර කලා. ඕක ඌට කොච්චර ඇනයක් වුනාද කිවුවොත් අන්තිමේදි වීඩියෝ කඩේකින් අරගෙනලු අපිට තැටිය ගෙනත් දුන්නේ.

ඉතින් එදා හවස අපි සැට් එකම හොස්‍ටල් එකේදි කාගෙද මන්දා කොම්පියුටරයක ඕක බැලුවා. එතන හිටපු හැමෝටම වගේ මුල ටිකනම් සිරා. පැයක් විතර ගියාට පස්සේ  අල. පැය එකහමාරකට පස්සේ චොර. හුඟ දෙනෙක් ඉවර වෙනකම් බැලුවෙවත් නෑ…

කොල්ලෝ සෙට් එකක් කරන දඟ වැඩ මුලින් තිබුනත් පස්සේ ඉතින් සුපුරුදු දෙමළ සිනමා ආකෘතියම තමයි. හරිම අභව්‍ය කතාවක්. අපිටනම් හිතා ගන්නත් බැරි වුනා මේක ගැන මොකද හැමෝගෙම මෙච්චර වර්ණනාව කියලා. සින්දු ටිකනම් ලස්සනයි. (සින්දුවල වීඩියො ගැන මතක නෑ…) ඉතින් පහුවදා ආපහු තැටිය ගිහින් දීලා අපිට ඒක ගෙනත් දුන්න එකට ඌට පලු යන්නම බැන්නා. හික්, හික්. පවු කියලත් හිතෙනවා දැන්නම්.

කැම්පස් ඉන්න කාලේ බලපු හොඳ චිත්‍රපටි කියලා මතක තියෙන්නේ Spider Man, Minority Report, The Matrix, Harry Potter, A Beautiful Mind, The Last of the Mohicans, The Sixth Sense, The Patriot, Gladiator වගේ ඒවා තමයි. මම කැමති දෙමළ චිත්‍රපටිත් නැතුවම නෙවෙයි. Bombay, Roja, Thevar Magan, Nayagan වගේ නම් තමයි දැන් මතක. (මේ කියපු දෙමළ චිත්‍රපටි බහුතරයක් මනි රත්නම් අධ්‍යක්ෂණය කළ ඒවා වුනේ මොකද කියන්නනම් මම දන්නෙ නෑ.)

මේක දැක්කම පිස්සට තද වෙයිද දන්නෙත් නෑ. මම කිවුවේ අපිට දැනුනු විදිය තමයි. චිත්‍රපටිය හොඳද, නරකද කියලා කියන්න කීප දෙනෙකුගෙ මතය තිබුනටම බෑනෙ.

Posted in Ent | Tagged , , , , , , , , , , , , , | ප්‍රතිචාර 8

Robin of Sherwood |රොබින් හුඩ්

පිස්සා රොබින් හුඩ් ගැන ලියපු ලිපිය දැකලා මාත් කමෙන්ට් එකක් දාන්න ලෑස්ති වුනා. මොකද මේ ගැන පොඩි කතා දෙක තුනක්ම ලියන්න තරම් අත්දැකීම් මටත් තියෙනවා. ඒත් ලියන්න පටන් ගත්තම විස්තරේ දිග වැඩි වුන නිසා වෙනම බ්ලොග් සටහනක් විදියට දැම්මනම් හොඳයි කියලා හිතුනා… මේ කතා මතක් වෙන්න මුල් වුන පිස්සට ස්තුති කරලම පටන් ගන්නම්.

මට මතක හැටියට Robin of Sherwood මුලින්ම පෙන්නුවේ මම 2 වසරේ ඉද්දී 1987දි විතර. වෙලාවනම් ඉරිදා රෑ 7ට වෙන්න ඕන. පළවෙනි කොටස බැලුවේ අහම්බෙන්. ඊට පස්සේ එක කොටසක්වත් මිස් කරන්නේ නැතුව බැලුවා.

ඒ කාලේ ලංකාවෙ තිබුනේ TV Channel 2යි. වෙන බලන්න දේවල් ඒ තරම් නොතිබුන නිසාද, ළමයින්ට දැනට වඩා නිදහසක් තිබුන නිසාද මන්දා අපි හැමෝගෙම හිත්වලට තදින්ම කා වැදුනා මේ TV series එක. පහු ‍කාලෙකදි කැම්පස් එකෙන් එහෙම හමු වුන යාලුවො නිසා දැන ගත්තා ලංකාව පුරාම අපේ වයස්වල (±5) හැමෝගෙම වගේ ජීවිතවලට මේ කතාව ගොඩක් බලපාල තියෙන බව.

රොබින් මැරෙන එක ගැන කියවද්දියි මතක් වුනේ… ඔය කතාවෙ තියෙනවනේ රොබින් හුඩ් මැරුනම රොබට් කියල වෙන හාදයෙක් රොබින් හුඩ්ගෙ අනුප්‍රාප්තිකයා හෙවත් රොබින් හුඩ් II විදියට වැඩ කරනවා. ඔය කාලේ මගේ යාලුවො කිවුවෙ රොබින් හුඩ්ලා 7 දෙනෙක් වෙනකම් එනවා කියලයි. ඒ කාලෙ ඉතින් ජංජාලෙ, wikipedia එහෙම තිබුනෙත් නෑනේ. ඒ නිසා මාත් රොබින් හුඩ්ලා 7 දෙනාගෙ කතාව හිස් මුදුනින් පිලි අරන් හිටියේ. හික්. හික්…

පිස්සයි, සහනුයි වගේම මාත් දුනු ඊතල හදාගෙන සෙල්ලම් කළා සෑහෙන කාලයක් යනකම්ම. ඔය life size දුනු ඊතල හැදිල්ලෙන් පස්සෙ මම miniature ඒවා හදන්නත් පුරුදු වුනා. ඒ කිවුවේ දුන්නක් 150mm විතර වෙන්න… ඔය සයිස් එකට හැදුවම performance අඩු වුනත්, බෑග් එකේ දාගෙන ඉස්කෝලෙ ගෙනියන්න පුලුවන්නේ… ඒකයි.

ඊලඟට Robin of Sherwood පෙන්නුවේ 1990දී විතර ඉරිදා හවස 5ට ‘රසාර’ වැඩසටහන යටතේ. ඔය දවස්වල අපේ ශිෂ්‍යත්ව පන්තිය ඉවර වෙන්නෙත් ඒ වෙලාවටමයි. ඉතින් ක්ලාස් ඇරුන ගමන් කට්ටියම දඩි බිඩි ගාලා ගෙදර යනවා ඕක බලන්න. ඒත් මටනම් කලින් වගේ හොඳට බලා ගන්න අමාරු වුනා ඔය සැරේදි.

1995දි විතර තමයි ඊළඟට Robin of Sherwood පෙන්නුවේ. ඒ සැරේ තිබුනේ සිකුරාදා රෑ 7ට වෙන්න ඕන. පළවෙනි සැරේ බලලා අවුරුදු 7ක් ගියත් දෙවෙනි සැරේ බලනකොටත් කතාව මතක තිබුනා. ඒත් ඒ සැරෙත් මුලු series එකම ආසාවෙන් බැලුවා.

ඔය සැරේ බලද්දි තමයි මට තේරුනේ මැරියන්, රොබින් හුඩ් living together කියලා. 2 වසරේ ඉද්දි ඕවා තේරෙන එකක්යැ. හිකිස්.

ඒ විතරක්යැ. මගේ පන්තියෙ යාලුවෙකුටත් 11 වසරෙදි විතර හිතුනනෙ අපේ පන්තිවලට ආපු ගෑනු දැරිවියකගෙ පෙනුම මැරියන් වගේ කියලා. ඕක ගැනත් රසවත් කතන්දර ‍ගොඩක් තියෙනවා.

ඔහොම දෙපාරක් රොබින් හුඩ් බැලුවට පස්සේ නියම වැඩක් වුනේ. ඉබ්බට වෙච්ච දේම තමයි. කතාව හොඳටම මතක තිබුන නිසා ආයිත් සැරයක් බලන්න එපා වුනා මට.

ඒත් කතාවෙ background music එකටයි, සිංදුවලටයි තිබුන ආසාව අඩු වුනේ නෑ. ජංජාලෙ පාවිච්චි කරන්න හුරු වුනාට පස්සේ රොබින් හුඩ් සිංදු ටික හොයා ගත්තා සෑහෙන ගේමක් දීලා. තාමත් ආසයි. ඒවටනම්. කතාවෙ තේමා වාදනයනම් මෙතනත් තියෙනවා. ඔය සිංදු නිසාම මට පහු කාලෙකදි සෙල්ටික් සංගීතය ගැනත් කැමැත්තක් ආවා.

මං හිතන්නෙ 2007දි විතර ආයිත් පාරක් රොබින් හුඩ් පෙන්නන්න ඇති. ඔය කාලෙ අපේ මල්ලි කෙනෙක් එක විෂයකට එයාගෙ අනිත් යාලුවො ටික යන A/L tuition class එකට නොගිහිං යාලුවො නොයන වෙන පන්තියකට ගියා. මල්ලි ගිය පන්තිය තිබිලා තියෙන්නේ රොබින් හුඩ් තිබුන වෙලාවෙමලු. ඉතිං අර යාලුවො ටික දවසක් මේ මල්ලිට බැනලා තියෙන්නේ, “උඹ ඔය කරන වැඩෙන් අන්තිමේදි ඒ ලෙවලුත් නෑ. රොබින් හුඩුත් නෑ” කියලලු.

සමරු සටහන් පොත්වල නිතර ලියවුන “Nothing is Ever Forgotten!” කෑල්ලත් ආවේ රොබින් හුඩ් එකෙන් කියලයි මටනම් හිතෙන්නේ.

ෂර්වුඩයේ රොබින් කතා පෙළ ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්.

ලංකාව පුරාම හුඟ දෙනෙකුගෙ මතකයේ රැඳුනු රොබින් හුඩ් කතාව වගේ නොවුනත් මගේ පොඩි කාලෙත් එක්ක බැඳුනු TV series කීපයක් මතක් කරලා කතාව ඉවර කරන්නම්:

MonkeyMacGyverKnight RiderStreet HawkRobin of SherwoodLittle House on the PrairieSmall WonderKung Fu

ප. ලි.

ජනප්‍රිය සිංහල සංගීතයට Celtic Music වල බලපෑම ගැන දැන ගන්නනම් මේ Clip එකත් බලන්නකෝ.

Posted in PT | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 10

Unknown Phone Number | නාඳුනන දුරකථන අංකය

දුරකථන අංකය හොයා ගන්න බැරුව අරවින්දට වෙච්ච දේ කිවුවම ඔන්න නාඳුනන දුරකථන අංකයක් ගැන තවත් පොඩි කතාවක් මතක් වුනා. මේකනම් මගේම අත්දැකීමක් නෙවෙයි. මුචාගෙ බැච් ‍එකේ අයට තමයි වෙලා තියෙන්නේ. මම අන්වර්ථ නම්වලින් කතාව කියන්නම්.

ජංගම දුරකථනයකට කෝල් එකක් එද්දි අමතන්නාගේ අංකය පේනවනේ. (CLI කියලා කියන්නේ…) ඒත් අපිට ලංකාවෙන් එන කෝල් අතරින් සමහර ඒවල විතරයි අංකය හරියට පේන්නේ. එකම දුරකථනයෙන්ම ලැබෙන කෝල් වුනත් සමහර විට අංකය හරියට පේනවා; සමහර විට ‘Unknown Number’ කියලා පේනවා. ඔය නිසා අපිට ‘Unknown Number’ එකකින් missed calls තිබුනොත් සාමාන්‍යයෙන් ලංකාවෙන් කෝල් එකක් එයි කියලා හිතෙන අංකයට කතා කරලා බලනවා…

දවසක් අපේ පවන අයියගේ ජංගම දුරකථනයටත් ඔය විදියට ‘නාඳුනන දුරකථන අංකයකින්’ missed call එකක් තිබිලා. පවන අයියත් හදිස්සියක්ද දන්නෑ කියල හිතල වහාම ලංකාවෙ ගෙදර අංකයට කතා කලා. ඒත් ගෙදර අය කිවුවලු කවුරුත් කෝල් එකක් ගත්තෙ නෑ කියලා. පස්සේ ලංකාවෙ තව කාටද මන්දා ‍කතා කලාම එයත් කිවුවලු කෝල් කලේනම් නෑ කියලා. ඔය සිද්ධියෙන් පස්සේ පවනට නිතරම ‘නාඳුනන දුරකථන අංකයකින්’ missed call ආවා. ඉතින් ඔය කෝල් එන එන සැරේට ලංකාවෙ එක එක්කෙනාට කතා කරලා රිං කලාද අහන්න ගිහින් පවනට හොඳ බිලකුත් ගියා. බිල විතරක් නෙවෙයි… මේ කවුද කියලා හිත හිත ඉඳලා වැඩත් පාඩුයි.

සෑහෙන දවසක් ඔය විදියට බයිට් වුනාට පස්සේ අහම්බෙන් වගේ පවන අයියා නාඳුනන දුරකථන අංකයට කෝල් කලාම මෙන්න ලඟ හිටපු අවිශ්කගේ ජංගම දුරකථනය රිං වෙනවා. එතකොට තමයි කට්ටියම දැන ගත්තේ වෙලා තියෙන දේ. අවිශ්ක හොරෙන්ම පවනගේ දුරකථනය අරන් එයාගේ අංකයට අදාලව තිබුන නම මකලා ‘Unknown Number’ කියලා දාලා.

දුරකථන අංකය කාගෙද කියලා හොයන්න ගිහින් වෙච්ච ඇබැද්දියකුත් අරගෙන ආයිත් එන්නම්. මේ වගේ කතා ඔයාලත් දන්නවනම් කමෙන්ට් කරන්න.

Posted in Ent | Tagged , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 2